රැකියාව කරන්න එපා වෙනවද ?..එහෙනම් මේ ලිපිය කියවලාම බලන්න

රැකියා ආතතිය




පියල් වයස අවුරුදු 32 ක විවාහක එක්දරු පියෙකි. විද්‍යා උපාධිධාරියකු වන ඔහු පුද්ගලික සමාගමක විධායක නිලයක් දරයි.‍ෙතද හිසරදය, නින්ද නොයෑම, සිතට බියක් ඇතිවීම, ඇඟපත කැක්කුම, ජීවිතය ගැන කළකිරීම, රැකියාව එපාවීම, හිත එක තැනක තබා ගැනීමට නොහැකිවීම, කේන්තියාම, රැකියාවේ වැඩ කිරීමට නොහැකියාව, නුරුස්නාගතිය, රැකියාව ගැන අවිශ්වාසය, වැඩ ගොඩ ගැසීම ආදී ප්‍රධානතම ප්‍රශ්න පියල්ට තිබුණි. මෙයට අමතරව සමහර දිනවල දී රාත්‍රී 10 පමණ වනතුරු සේවය කිරීමට සිදුවීම, නිවාඩු ගැනීමට නොහැකිවීම, ගෙදර සිටියත් රැකියාවේ ගැටලු දුරකථන පණිවිඩ මගින් විසඳීමට සිදුවීමත් පියල්ට තිබුණ ප්‍රධානතම හිතට වදදෙන ගැටලු විය.

මා මෙහි සඳහන් කළේ පියල්ට තිබුණු ප්‍රධානතම ගැටලු සමූහයයි. තවත් ගැටලු රාශියක් විය. තරුණයකු වූවද පියකු වූවද පියල්ට තම ජීවිතය සැහැල්ලුවෙන් ගත කළ නොහැකි විය. හොඳ පඩියක් ලැබුණත් එයින් සතුටට පත්වීමට ඔහුට නොහැකිවිය. හොඳ බිරිඳක් ඔහුට සිටියත් ගෙදර සිටින්නේ තදබල අපහසුතාවයකිනි.මෙවන් දිවියක් පියල් කෙදිනකවත් බලාපොරොත්තු නොවීය. ප්‍රතිකාරවලින් සහනයක් නොලද ඔහු ඉතාම අසරණ තත්ත්වයක සිටියේය.

පියල්ට සිදුව තිබුණේ කුමක්ද? මෙය අද සමාජයේ සිටින විශේෂයෙන්ම විවිධාකාර රැකියාවල යෙදෙන අයට ඇති රෝගී තත්ත්වයකි. මෙය විශේෂිත චර්යාවක් සමගින් මතුවන්නකි. සෞඛ්‍ය මනෝවිද්‍යාව (Health Psychology) එම චර්යාව. Type A Coronary – prone behaviour හෙවත් Type A Behaviour නමින් හඳුන්වනු ලබයි. Dunbar (1978) දී මුලින්ම හඳුනාගත් මෙම චර්යාව, Mcmichel (1978) දී මානසික ආතතිය සමඟින් එක්තරා විශේෂිත කණ්ඩායමකට මතුවන හෘද රෝග ලක්ෂණවලට සබඳතාව දක්වන්නක් බව පෙන්වා දී ඇත.

මෙම චර්යාව හා මනෝවිද්‍යාව සබඳතා දක්වන්නේ කෙසේද? ‘මානසික ක්‍රියාකාරිත්ව හා චර්යාව පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම’ වශයෙන් මනෝවිද්‍යාව හඳුන්වයි. මේ හෙයින් කුමන හෝ චර්යාවක් විස්තර කිරීම, අධ්‍යයනය කිරීම වැනි දෑ මනෝවිද්‍යාවට සම්බන්ධ විෂය ක්ෂේත්‍රයකි. මනෝ විද්‍යාව හා චර්යාව අතර සබඳතාවය John B Wodson නමැති අමෙරිකානු මනෝවිද්‍යාඥයා විසින් ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. මෙයට උත්තේජන – ප්‍රතිචාර සබඳතාවය ද විස්තර කර ඇත.

ඉගෙනීම චර්යාවේ ස්ථිර වෙනස්වීමක් ලෙසට අර්ථකථනය කර ඇත. Ivan Pavlov හා B. B. Skinner නැමති මනෝවිද්‍යාඥයින්ගේ පර්යේෂණවලට අනුකූලව චර්යාවන් අලුතින් ඉගෙනගත හැක. චර්යාවන් හඳුනාගත හැකිය. එසේම චර්යාවන් නැතිවී ගිලිහී යනු ඇත. චර්යාවන් පාලනය කිරීමටද හැකිය. ඉහත මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර ඇති සිද්ධාන්තවලට අනුකූලව Behavioural Theapy නැමති මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමය ගොඩනැගී ඇත.

චර්යාව අධ්‍යයනය කිරීමෙන්, චර්යාව නිරීක්ෂණය කිරීමෙන් පුද්ගලයකුගේ මානසික තත්ත්වයේ යම් යම් ඇගයීම් (Assesment) කිරීමට හැකිය. මෙය ප්‍රතිකාරවලදී වැදගත් වන්නකි. එම ඇගයීම තුලින් පුද්ගලයකුගේ පෞරුෂත්වය, ආතතිය, විශාදය, කාංසාව, වැනි මානසික ක්‍රියාකාරිත්ව පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීමට හැකිය.

මේ හෙයින් චර්යාව මනෝවිද්‍යාවට හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සංවිධානයට ඉතාම වැදගත් කරුණු ලබාදෙයි. චර්යාව එක් එක් අයගේ විවිධ වනු ඇත. පුද්ගලයින්ගේ වයස, ස්ත්‍රි පුරුෂ භාවය, රැකියාව, වගකීම, අධ්‍යාපනය, සමාජ තත්ත්වය, සිතුවිලි මතිමතාන්තර අනුව වෙනස්වනු ඇත. මෙම චර්යාව පෙන්වනු ලබන අය ඉතාම තරගකාරී පරිසරවල යම් යම් ඉලක්ක කරා, ඉතාම වෙහෙස මහන්සි වී වැඩ කරයි. එසේම ඔවුන් ඉක්මනින් කලබලවන, ඉතා හයියෙන් කතා කරන, සංසුන් මනසක් රහිතයි. එසේම ඔවුන් ඉක්මනින් කේන්ති යන, නොසන්සුන්, ඉක්මන්වන, ප්‍රශ්නවලින් ගැලවීමට නොහැකි, සුළු දෙයකින් පවා සැලෙන පුද්ගලයින් වනු ඇත. ගෙදර සිටියත් රැකියාව ගැන හිතයි. සැකයක් ඇත. උසස්වීම් පිළිබඳව සැක ඇත. කරන ලද වැඩ හරියට කළාද යන්න හිතයි.
 

මෙවන් පුද්ගලයින් තමන්ගේ සේවා පරිසරයේදී

1. විශාල වැඩ කොටසක් කරන අතර; ඉතා වැඩි කාලයක් ඒ සඳහා ගත කරයි.

2. ගෙදර යනවිටදී රස්සාවේ වැඩ ගෙන යයි. සැහැල්ලුවක් නැත.

3. නිවාඩු නොගනී.

4. අන් අය සමඟ තරගකාරීව වැඩ කරයි. තමන්ට යාමට නොහැකි තත්ත්වයන් ගැන හිතයි.

5. රාජකාරි ගැන ඉතා ඉක්මනින්ම කළකිරේ.

6. තමාගේ පහල නිලධාරින් සමඟ නිතරම රණ්ඩු කරයි.

7. ඉහළ නිලධාරින් ගැන වැරදි අවබෝධ දරයි.
 

මෙම තත්ත්වය අද සමාජයේ සිටින මෙවන් රාජකාරි කරන පුද්ගලයින් සතුව ඇත. පියල්ට ද මෙම තත්ත්වය ඉතාම නොඅඩුව තිබුණි. මෙම චර්යා රටාව තරුණ වයසේ දී යම් ප්‍රමාණයකට ඔරොත්තු දුන්නද ක්‍රම ක්‍රමයෙන් වයසට යනවිටදී එය විවිධාකාර ශාරීරික රෝග ඇතිකරලීමට හේතුවක් වනු ඇත.

පියල්ට ද මෙම තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Psychological Treatment) මාලාවක් ආරම්භ කරනු ලැබීය. රෝගී තත්ත්වය පිළිබඳව ඉතා සරල අවබෝධයක් සමඟම ඔහුට මානසික සංතුලනය උදෙසා ප්‍රතිකාර ආරම්භ විය. එය පියවර දෙකකින් සිදුකරන අතරේදී පියල්ට තම රැකියා ආතතිය කළමනාකරණය කිරීමට අවශ්‍ය යොමු කිරීම් ආරම්භ විය.

ගැටලු කළමනාකරණය, සිතුවිලි කළමනාකරණය අශුභවාදී සිතුවිලි කළමනාකරණය පියවරින් පියවර ආරම්භ විය. එසේම තමන්ගේ වෘත්තිමය ක්‍රියා සංවිධානය හා තම සේවකයන් කළමනාකරණය කිරීමේ ක්‍රමයත් පියල් ආරම්භ කළේය. තමන්ගේ ආත්ම විශ්වාසය, ආත්ම අභිමානයද විවිධාකාර අන්දමින් වර්ධනය කර ගැනීමට අවශ්‍ය මානසික උද්දීපනය පියල්ට ලබා දුනිමි. එසේම වෙනස්කම් ඇතිවීමත් සමඟම පියල්ගේ ජීවන රටාව වෙනස්කර ගැනීමට අවශ්‍ය පියවර ඔහු ගනු ලැබීය. මෙම ප්‍රතිකාර මාලාව ඉතාම ක්‍රමිකව හා සංවිධානාත්මකව කරගෙන යන විටදී ආකල්ප වෙනස් කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවිය.

පියල්ට ඉතා ඉක්මන් සුවය අවශ්‍ය වූවද එය ක්‍රම ක්‍රමයෙන් පියවරින් පියවරට ලබාදීමට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර මාලාව ඔහුට ලබා දුනිමි. එහිදී ඔහු විසින්ම තම ප්‍රගතිය මැන ගැනීම හා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීම කරගනු ලැබීය. මේ සඳහා මාස 2 1/2 ක කාලයක් ගත වූ අතර එය ඔහුගේ උනන්දුව අවශ්‍යතාව හා පවුලේ අයගේ සහයෝගය ඉතාම වැදගත් විය.දැන් පියල් ස්වාධීනව කටයුතු කරන, තම රැකියාව හොඳින් සතුටින් කරන කායික හා මානසික සෞඛ්‍ය මෙන්ම සමාජයීය තත්ත්වයද හොඳින් ඇති පුද්ගලයෙකි.

මෙවන් Type A Behaviour ඇති අය නියම අන්දමින් ප්‍රතිකාර ලබා ගැනීම තුලින් තම රැකියාවන් හොඳින්
කරන අයවනු ලබන අතර කායික හා මානසික සෞඛ්‍යය හොඳින් ඇති කාර්යක්ෂම පුද්ගලයින් වනු ඇත.

 (ව්‍යවහාරික මනෝවිද්‍යාඥ නිමල් ලියනගේ මහතාගේ ලිපියක් ඇසුරිනි.වැදගත් කරුණු රැසක් මෙහි අන්තර්ගතව ඇති බැවින් මෙම ලිපිය සංස්කරණයකින් තොරව මෙහි පලකර ඇත.)

 

ගැටයන්ටයි ගැටිස්සියන්ටයි languages




          මේ ගෙවි යන්නේ කාර්ය බහුල දින කිහිපයකි.එම නිසාම මෙම අඩවියේ අලුත් ලිපියක් පලකිරීමටද ප්‍රමාද විය.එමෙන්ම වෙනත් බ්ලොග්වල පලවූ ලිපි බැලීමටද නොහැකි විය.අලුත් ලිපියක් පල නොවන විට බිලොගය පාලුවට යන නිසාම ලද විවේකය අනුව ලිපියක් පලකිරීමට සිතුවෙමි.මෙවර පලවන ලිපිය සිංහල භාෂා සම්ප්‍රදාය පිළිබදවය.සිංහල වාග් කෝෂයෙහි ප්‍රාදේශීය උපභාෂා සහ සමාජීය උපභාෂා ඇත.උඩරට හා පහතර ප්‍රදේශවල සැලකීමේදි මෙම ප්‍රදේශවල ජනයා එකම දෑ හැදින්වීම සහ ප්‍රකාශ කිරිම සඳහා යොදාගන්නා බස්වහරෙහි විවිධත්වයක් දැකිය හැක.එපමනක් නොව සමහර අවස්ථාවල එකම පලාතක වුවද ගම්මානයෙන් ගම්මානයටද භාෂාවෙහි විවිධත්වයක් දැකිය හැක.කෙසේ වුවද එහි ඇත්තේ සුන්දරත්වයකි.එමෙන්ම ප්‍රදේශිය අනන්‍යතාවයක්ද ඒතුලින් ගොඩනැගි ඇත.පැරන්නන් අතරෙහි භාවිත වූ මෙම බස්වහර වත්මනෙහි ක්‍රමයෙන් භාවිතයෙන් බැහැරව යන බවක්ද දැකිය හැක.සමහර වදන් භාවිතා නොවන තරම්ය.



දකුණු පළාත් භාෂා ව්‍යවහාර (කිහිපයක් පමනක් දක්වා ඇත)

අකබක්ක වෙනවා - විනාශ වෙනවා
අංබරුවා - ගොනා
අජලයා - කෑදරයා
අක්කු වික්කු - අන්ද මන්ද වීම
අටම් පහුර - තේරුම්ගතනොහැකි/ඉබේ කඩා වැටිය හැකි යමක් ( අපේ අටම්පහුරේ අටමාද බ්ලොග් වලට කඩා වැදෙන්නේ හිටි හැටියේය)
අඩී - භාර්යාව
අත්බරුව - උදැල්ල
අන්දෝ උනා - මළා
අපෝවුණා - බැරිවුනා,අමතක වුනා
අඹනවා- පලවා හරිනවා
ඇහැකි- පුළුවන්
උංගා - කුඩා දරුවා
උංගි - කුඩා දැරිය
ඉළව්ගෙදර - මළගෙදර
උච්චිකරනවා - පමාවෙනවා
ඔක්කේ - ඔඩොක්කුව
ඔජර- කම්මැලි
ඔලොක්කම - විහිළුව
ඔහේ - ඔබ
කම්බස් වෙලා යනවා - විනාශවෙලා යනවා
කීම්බස් - කේළම්
කෝනම - ඇඳුම
කොළ විඩ - බුලත්විට
ගැටයා - තරුණයා
ගැටිස්සි -  තරුණිය
කෝලිත්තං - විහිළු
ගෙට යනවා,මුල්ලට වෙනවා - මල්වර වීම
නරිප්පඩ-  නරක
පත බෑවෙනවා - වැටෙනවා
පාච්චල් කරනවා - පහත්කර කතා කරනවා
බරුවා - ස්වාමිපුරුෂයා
බැදැනියැන්දෑ- නෑනා
බැරැස්සි - හැඩිදැඩි තරුණිය
බ්ජ්ජ - පුරුෂලිංගය
බොණ්ඩි - වේසි
බොණ්ඩිගේ පුතා- වේසිගේ පුතා
මක්කෙයි - මොනවද
මදාවියා - අඩු ආයුෂ ඇති ( අපේ රසසරණියේ මදාවියා වැඩිකල් ජීවත් වේවා...)
මරාලේ - කරදරේ
මොරේ - කෑ ගසනවා
මොරෝ නොගහ - කෑ නොගසා
විච්චූර්ණ - විලාසිතා
හොට බරියා - වල් ඌරා



නුවර උඩරට ප්‍රදේශයේ භාෂා ව්‍යවහාර ( කිහිපයක් පමනකි)

අරෝව - විපත
අම්මා දෙයියෝ - පත්තිනි දේවිය
අල්ල පනල්ලේ - අවස්ථාවේ
ඉලව්ව - මරණය
ඊගාව - ඉන්පසුව
දොහේ-දවසේ
උදැහැනැක්ක - උදැසන
කොරලා - අවසන්  කල
කම්බස් - විනාශ
සුනංගු - ප්‍රමාද
ලමයා ලොකු වෙලා,නෑඹ් වීම- මල්වරවීම
කූරපයිය - පසුම්බිය
කොටා බානව - කනවා
ගොබිලා,ගැටයා,නාම්බා - තරුණයා
ගැටිස්සි - තරුණිය
ගොඩාරියක් - වැඩි ප්‍රමානයක්
මාළුපිනි - ව්‍යංජන
රූටනවා - ලිස්සා යනවා
වකාරේට - ඕනැතරමට
වහන්වෙලා - සැඟවී
වාහේ - සැමියා
සප්පායං වෙනවා - ආහාර පාන අනුභව කරනවා
සහේට ගන්නවා - විවාහ වෙනවා
හැබැය ? - ඇත්තද ?
සුට්ට,ඩිංග- කුඩා
හයියත්තිය - ශක්තිය
කෙලියා - වැරදුනා
ආයිබෝන් - ආයුබොවන්



මෙම ප්‍රාදේශීය ව්‍යවහාරයන් අධ්‍යයනය කිරීමේදි දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
එනම්, එක් පදයක්, එක වචනයක්, එක් සිදුවීමක් දක්වන්නට එක් එක් පළාත්වල වවිධ ව්‍යවහාර යෙදෙන බව.
එමෙන්ම එකම වචනය හා වාක්‍යය උච්චාරණය කරන ආකාරයද ප්‍රදේශ අනුව වෙනස්වන වන අවස්ථා ඇත.එවැනි වදන් කිහිපයක් මෙසේය.
කියන්න (සාමාන්‍ය ව්‍යහාරය)
කියන්ට  (නුවර උඩරට,නුවරඑළිය)
කියාලා   (වලපනේ සමහර ප්‍රදේශ)
කියන්ඩ  ( උතුරුමැද සමහර ප්‍රදේශවල)
කියොනවැයි
කීවැයි
බොනවා (සාමාන්‍ය ව්‍යවහාරය)
බුන්නා  
බිව්වා
බීවා
බොන්ට
බොන්ඩ
මෙවනි වදන් බොහෝමයක් ඇතත් මෙහි දක්වා ඇත්තේ සුලු ප්‍රමානයකි.බසෙහි විවිධත්වය පිළිබද සිළුමිණ පුවත්පතෙහි පලවතිබු ලිපියක්ද නෙත ගැටින.එය මෙතනින් කියවන්න


ඉහතින් දක්වන ලද්දේ ප්‍රදේශිය ව්‍යවහාරයන් පීළිබදවය.අනතුරුව දක්වනට බලාපොරොත්තු වන්නේ මඳක් වෙනස් කරුනක් පිළිබදවය.එනම් සිංහලයෙහි හා බුදුසමයෙහි වදන් වලට විවිධ පුද්ගලයන් විසින් දෙන ලද නොයෙක් අර්ථවිවිරණ ගැනය.එම සමහර අර්ථ විවරණ ගෙන දෙන්නේ විනෝදය පමනකි.තවත් සමහර අර්ථ විවරණ සිනහව උපදවයි.තමන් මගඵල ලාභීයකු යයි පවසා ගත් පුද්ගලයකු දිගු කාලයක් සමීපයෙන් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුනි.ඔහු මෙන්ම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් බුදුසමයෙහි සමහර වදන් වලට ලබා දෙන්නේ මෙවනි අර්ථ විවරණයන්ය.


බුද්ධචරිතය හා සම්බන්ධ පුද්ගලයන් හා ස්ථාන වලට ලබාදෙන අර්ථ විවරණ.

මෙම අර්ථ විවරණ ඒ ඒ පුද්ගලයන්ගේ අදහස් සංකල්ප මිස පිටකයේ සඳහන් වන්නක් නොවන අතර මේ කිසිවකින් මෙම ස්ථාන හෝ නම්වල සැබැ අර්ථය ගම්‍ය නොවන බවද සැලකිය යුතුය.මෙය පලකරනුයේ ඔබගේ දැනගැනීම සදහා පමනකි.

පස්මහා බැලුම් - රූප,වේදනා,සංඥා,සංස්ඛාර,විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධය නුවනින් දැක අවබෝධකරගැනීමය.

මගධය - මගධෙසු යනු තම මගධයෙහි සැරිසැරීමයි.මෙහි මගධය යනු සසරය,සසරෙහි සැරිසැරීම මගධෙසු යනුවෙන් දක්වා ඇත.

උරුවේලාව - උරු යනු විශාල යන්නය,වේලා යනු වෙරලයි,අති විශාල වෙරල යන්න මෙහි අර්ථයයි,එනම් සසර සාගරෙහි වෙරලෙහි සැරිසැරීමයි.
සේනානිගම - සෙන්පතියාගේ ගමයි.මෙහි සෙන්පතියා යනු කවරෙක්ද.එනම් තමාය.මම යන අන ඇතිව ක්‍රියා කිරිම සේනානිගමෙහි සැරිසැරීම නම් වේ.

ගිජ්ජකූට පර්වතය - ගිජ්ජ යනු ගිජුකමය.ගිජුකම කුලුගන්වන පර්වතය යන්න මෙහි අදහසයි.එනම් තම ශරිරයයි.තම ශරිරයට ගිජුව අසුභය නොවඩන්නා ගිජ්ජකුට පර්වතයේ සිටින්නකු ලෙස දක්වා ඇත.ගිජ්ජකූට පර්වතයෙන් බැසීම යනු කායානුපස්සනාව වඩා සිරුරට ඇති ඇල්ම දුරු කරගැනිමය.
සෝතාපන්න - සෝතයනු කනය.ආපන්න යනු පැමිනි යන තේරුමයි. දහමට කන යොමු කල තැනැත්තා සෝතාපන්න නම් වේ. (නමුත් සෝත යනු ආර්ය මාර්ගය බවත් සෝතාපන්න යන්නෙහි ආර්ය මාර්ගයට ස්ථිර වශයෙන්ම පැමිනි යන අදහස ඇතිබවත් බවත් බුදුන් වහන්සේ සැරියුත් හිමියන්ට දේශනා කර ඇත)

ධම්සක් පැවතුම් සූත්‍රය වරදවා පරිවර්ථනය කිරිමෙන් එහි සැබැ අර්ථය සැගව ගොස් ඇතැයි මා හට පැවසුවේද ඉහත තමන් මාර්ගඵළලාභියකු යයි හදුන්වා ගත් තැනැත්තාමය.ඔහු එම සූත්‍රයේ සමහර වදන් වලට ලබා දෙන්නේ මවනි අර්ථකථනයන්ය.

පඤ්ච වග්ගියා භික්ඛු -  භික්ඛු යනු ඉල්ලන්නාය.පඤ්ච වග්ගිය යනු පස් ආකාරයකින්ඉල්ලන්නාය.එනම් ඇසෙන්,කනෙන්,නාසයෙන්,දිවෙන්,ශරිරයෙන් ඉල්ලන යන අදහසයි.මෙය පස්වග මහනුන් ලෙස පරිවර්ථය වී ඇත්තේ වැරදිමකිනි.පඤ්ච වග්ගියා භික්ඛු යනු ඉන්ද්‍රියන් පහය.ඉන්ද්‍රිය පහ සංවර කරගනිමින් දහම් අසන්නට උපදෙස් දුන් බව මෙයින් අදහස් වේ.

කොණ්ඩඤ්ඤ - අඤ්ඤ යනු අන්‍ය ලෙසින් යන්නය,නිතර අන්‍ය ලෙසට පත්වන රූපය හැදින්වීමට කොණ්ඩඤ්ඤ යන්න යෙදි ඇත.
වප්ප - වප්ප යනු වැපීරීමය.කෙෙලස් වැපීරීම වප්පයි.

භද්දිය -  භද්දිය යනු බැඳීමය.උපාදාන  හැදින්වීමට භද්දිය යන්න යෙදි ඇත.

මහානාම - නාමකය අවබෝධකර නොගන්නා ඒය මහත්වෙයන් ෙගන මෝහයට පත් යන්න හැදින්වීමට මාහානාම යන්න යෙදි ඇත.

අස්සජි - අස්ස යනු දීර්ඝ යන්නය,දීර්ඝ සසරේ සැරිසරන්නා යන්න සදහා අස්සජි යනුවෙන් යෙදි ඇත.
හීනෝ ගම්මෝ -  හීන යනු අප දකින හීනයන්ය.ගම්මෝ යනු ගමනය.එනම් හීනෝ ගම්මෝ යනු අවිද්‍යාසහගත හීනවල පැටලෙමින් සසරේ ගමන් කිරිමය.
පෝථුජ්ජනිකෝ - ජන යනු ජනනය හෙවත් ඉපදීමයි.එනම් නැවත නැවතත් ඉපදීමය.

(  හීනෝ,ගම්මෝ,පෝථුජ්ජනිකෝ යන්නට ධම්සක්පැවතුමි සූත්‍රයේ දී ඇති අර්ථය වනුයේ පෘතග්ජනයන්ගේ පහත්වූ ග්‍රාම්‍ය වූ ක්‍රියාව යන අර්ථයයි)

බිමිබ්සාර - ප්‍රතිබිම්බ මායාව සාර යයි ගත් සියලු තැනැත්තන් හැදින්වීම සඳහා යෙදි ඇති වචනයකි.ඒ අනුව බෝසතුනට බිම්බිසාර රජු මුනගැසීම යනු සැබැවින්ම රජු මුනගැසීම නොව මුලාව හදුනාගැනිමය.බෝසතුන් මුලාවට පත්වන සියල්ල හදුනාගත් නිසා බිම්බිසාර මුන ගැසුනා යයි දක්වා ඇත.
තවද මෙවැනි බොහෝ අර්ථකථන ඇතත් එම කරුනු සදහන් කිරිමට යාමෙන් මෙම ලිපිය බොහෝ දීර්ග විය හැක.එබැවින් මෙම ලිපියෙහි මීට වඩා කරුනු දැක්වීමට අදහස් නොකරමි.ඉල්ලීමක් ඇතොත් පමනක් මතු ලිපියකින් එම කරුනුද සදහන් කරමි.


 සිංහල ජනවහර ගැන ලිපි පලවූ බිලොගයක් සිංදු ඇනෝ විසින් පසුව පෙන්විය. ජනවහර නම් වූ එම බිලොගයෙහි ලිපි බලන්න මෙතනින් යන්න.
 


--------
ප/ලි

දෙකක් පතබාන තෙක් අම්බරුවන් මෙන් නොසිට අල්ලපනල්ලක් ලැබෙන දොහේ උච්චිනොකර ඕන මලඉලව්වක් මෙහි කොටාදෑමට මෙහි සැරිසරණ ගැටයන්ට හා ගැටිස්සියන්ට අවසරය ඇත.
 

වැඩිපුරම කියවා තිබෙන්නේ

Followers

නෙලුම් යායට

.

.

සහෘද අඩවි

සහෘද අඩවි